
කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා යැයි බැලූ බැල්මට පෙනෙන නොහික්මුණු කොළු ගැටවුන් පිරිසක් කොළඹ රාජකීය විද්‍යාලයේ ධජයට නිගරු කරමින්, නොසරුප් සටන් පාඨ කියමින් මහා ගාලගෝට්ටියක් ඇති කරන අන්දම දැක්වෙන වීඩියෝවක් යූ නාලිකාවේ තිබී එය උපුටා දක්වමින් තම අදහස් බ්ලොග් සටහනක් තුලින් දැක්වූ සුපුන් සුදාරක නම් රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුණ සිසුවාට මගේ ස්තුතිය මුලින් ම පළ කරමි.
මේ හේතුවෙන් විශේෂයෙන් ඒ සිද්ධිය පිළිබඳවත්, පොදුවේ ලංකාවේ තරුණ පරපුර සහ පොදු සමාජය පිළිබඳවත් යම් කතිකාවතක් ඇති වී ඇත.
මින් සති කිහිපයකට ඉහත දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා හන්තාන තරණය කරන්නට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට ද, පේරාදෙණියේ ඉගෙනුම ලබන නොහික්මුණු මැරයින් පිරිසක් විසින් අඩන්තේට්ටම් කළ පුවතක් ද දනන් තුඩ තුඩ රැව් දිනි.
මේ සිදුවීම් දෙකම මගේ සිත සාමාන්‍යයෙන් සිදුවන තරමට වඩා සසල කලේය.
එයට එක හේතුවක් නම් ඒ අසික්කිත ක්‍රියාවන් ට වගකිව යුතු පිරිස් අවාසනාවකට මෙන් සම්බන්ධ වී සිටින ආයතන දෙකට මගේ ද යම් සබඳතාවයක් තිබීමය. මේ ජඩයින් ගේ ක්‍රියා කලාපය නිසා මා ලබැඳි ඒ ආයතන ද්විත්වයේ කීර්තිනාමය පළුදු වේ.
මා සිත වෙනදාට වඩා සසල වීමට හේතු වූ අනෙක් වැදගත් කාරණයක් නම් පසුගිය වසර තිහක පමණ කාලය තුල ලංකාව පසුකර ආ දුර්දාන්ත දේශපාලනයේ සහ යුධ ව්‍යවසනයේ අනිවාර්ය ඵල විපාක දැන් දැන් ඉතා පැහැදිලි බව වැටහීමය.
මේ අතර අද උදෑසන අවදි වූ විගස අසන්නට ලැබුනේ මාර්තු අට (8) වන දින සැමරෙන ලෝක කාන්තා දිනය පිළිබඳ ප්‍රවෘත්තියකි.
මගේ සිත එසැණින් අතීතයට ඇදී ගියේය.
ඒ වසර 1979 යැයි මම සිතමි. (මේ ගැන දන්නෝ මා නිවරද කරත්වා!) මාර්තු 8 දින ලෝක කාන්තා දිනය සමරමින් උද්ඝෝෂණයක යෙදී සිටි කාන්තාවන් පිරිසකට නායකත්වය දුන් වයෝවෘද්ධ වාමාංශික නායිකාවක වන විවියන් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණියව බිම දිගේ ඇද ඇයට පහර දී පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණ. මෙය එකල සාමකාමී සිත් ඇති සැම දෙනා සසල කළ සිද්ධියක් විය.
තම අයිතීන් උල්ලංගනය කිරීම පිළිබඳව පොලිස් පරීක්‍ෂකට විරුද්ධව විවියන් ගොනු කළ නඩුවෙන් කොල්ලුපිටිය පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා වරදකරු බවට තීරණය වූ අතර ඔහුට ඒ වෙනුවෙන් දඩයක් ගෙවීමට නියම කෙරණි. වහා මේ දඩය ගෙවා දැමූ එවකට පැවති යූ.ඇන්.පී. රජය උප පොලිස් පරීක්‍ෂකයාට දඩුවම් නොව උසස්වීමක් ලබා දුනි.
එපමණක් නොවේ, එදා ඒ තීන්දුව ලබා දුන් විනිශ්චයකාරවරයා ගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කෙරිණි. මෙය සංවිධානය කෙරුනේ, එවකට රජය හා එක්වී සිටි හිටපු ජේවීපී කාරයෙක් වන කළු ලකී නමැත්තාගේ නායකත්වයෙන් නිසා, රජයට සහ රජයේ පොලීසියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයට පවා අකැප බව හැඟී ගියේය.
මහා හා හෝවක් සමග 1977 දී ඇරඹුණු ධර්මිෂ්ඨ සමාජයේ බියකරු පරිහානියේ ආරම්භක එක් මං සලකුණක් එය විය.
එදා සිට අද දක්වා පැවති හැම රජයක් මගින් ම කලේ නීතියා පාගා දැමීමයි. තමන් ගේ උන්ට එක නීතියක් ද, විරුද්ධ පාක්‍ෂිකයින් ට වෙනත් නීතියක් ද ක්‍රියාත්මක කිරීමයි. අමු අමුවේ අසාධාරණයට ඉඩ සලසා දීමයි.
වරදකරුවන් ට නිසි දඩුවම් ලබා නොදෙන සඳ, සමාජයක් කෙසේ නම් යහ මගට යොමුවේද? කාගේ කවුරු හෝ නිල බල ඇති තැනක සිටී නම් නඩු නැත. තමන් ගේ තරහකාරයෙක් නිල බල ඇති තැණක සිටී නම්, ඇඩ්‍රස් නැත.
මෙය විෂම චක්‍රයකි. අගතියෙන් අගතියටම මිස වලෙන් ගොඩ ඒමක් නැත!
ආනන්ද කොඩිය බඳ වට ඔතාගෙන රංචු ගැසී කලබගෑනි කරන ඒ කොළු කුරුට්ටන් හට දඩුවම් දිය හැකිද? බොහෝ විට නොහැකිය. ඒ උන්ගේ තාත්ත ලා අහවලා නිසාය. නැත්තං අහවලා ගේ අහවලා නිසාය.
අනෙක් අතට මේ කොළු කුරුට්ටන් ඉපදී හැදී වැඩී ඇත්තේ අද ඇති මේ විෂම සමාජයේ ය. නීති නොසලකන ආකාරයට ඔවුන් ගේ ජාන පරිසරයට අනුව හැඩ ගැසී, විකෘත වී ඇත.
එය උන්ගේ වරද නොවේ. උන් ගේ තාත්තලා ගේ වරදය!
අනේවාසික : the non-resident

