Tuesday, March 9, 2010

ජාත්‍යන්තර කාන්තා දිනයේ සිට ආනන්දෙ කොල්ලන් ගේ ජඩ වැඩ දක්වා


කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා යැයි බැලූ බැල්මට පෙනෙන නොහික්මුණු කොළු ගැටවුන් පිරිසක් කොළඹ රාජකීය විද්‍යාලයේ ධජයට නිගරු කරමින්, නොසරුප් සටන් පාඨ කියමින් මහා ගාලගෝට්ටියක් ඇති කරන අන්දම දැක්වෙන වීඩියෝවක් යූ නාලිකාවේ තිබී එය උපුටා දක්වමින් තම අදහස් බ්ලොග් සටහනක් තුලින් දැක්වූ සුපුන් සුදාරක නම් රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන තරුණ සිසුවාට මගේ ස්තුතිය මුලින් ම පළ කරමි.

මේ හේතුවෙන් විශේෂයෙන් ඒ සිද්ධිය පිළිබඳවත්, පොදුවේ ලංකාවේ තරුණ පරපුර සහ පොදු සමාජය පිළිබඳවත් යම් කතිකාවතක් ඇති වී ඇත.

මින් සති කිහිපයකට ඉහත දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා හන්තාන තරණය කරන්නට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට ද, පේරාදෙණියේ ඉගෙනුම ලබන නොහික්මුණු මැරයින් පිරිසක් විසින් අඩන්තේට්ටම් කළ පුවතක් ද දනන් තුඩ තුඩ රැව් දිනි.

මේ සිදුවීම් දෙකම මගේ සිත සාමාන්‍යයෙන් සිදුවන තරමට වඩා සසල කලේය.

එයට එක හේතුවක් නම් ඒ අසික්කිත ක්‍රියාවන් ට වගකිව යුතු පිරිස් අවාසනාවකට මෙන් සම්බන්ධ වී සිටින ආයතන දෙකට මගේ ද යම් සබඳතාවයක් තිබීමය. මේ ජඩයින් ගේ ක්‍රියා කලාපය නිසා මා ලබැඳි ඒ ආයතන ද්විත්වයේ කීර්තිනාමය පළුදු වේ.

මා සිත වෙනදාට වඩා සසල වීමට හේතු වූ අනෙක් වැදගත් කාරණයක් නම් පසුගිය වසර තිහක පමණ කාලය තුල ලංකාව පසුකර ආ දුර්දාන්ත දේශපාලනයේ සහ යුධ ව්‍යවසනයේ අනිවාර්ය ඵල විපාක දැන් දැන් ඉතා පැහැදිලි බව වැටහීමය.

මේ අතර අද උදෑසන අවදි වූ විගස අසන්නට ලැබුනේ මාර්තු අට (8) වන දින සැමරෙන ලෝක කාන්තා දිනය පිළිබඳ ප්‍රවෘත්තියකි.

මගේ සිත එසැණින් අතීතයට ඇදී ගියේය.

ඒ වසර 1979 යැයි මම සිතමි. (මේ ගැන දන්නෝ මා නිවරද කරත්වා!) මාර්තු 8 දින ලෝක කාන්තා දිනය සමරමින් උද්ඝෝෂණයක යෙදී සිටි කාන්තාවන් පිරිසකට නායකත්වය දුන් වයෝවෘද්ධ වාමාංශික නායිකාවක වන විවියන් ගුණවර්ධන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණියව බිම දිගේ ඇද ඇයට පහර දී පොලිස් අත්අඩංගුවට ගනු ලැබිණ. මෙය එකල සාමකාමී සිත් ඇති සැම දෙනා සසල කළ සිද්ධියක් විය.

තම අයිතීන් උල්ලංගනය කිරීම පිළිබඳව පොලිස් පරීක්‍ෂකට විරුද්ධව විවියන් ගොනු කළ නඩුවෙන් කොල්ලුපිටිය පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයා වරදකරු බවට තීරණය වූ අතර ඔහුට ඒ වෙනුවෙන් දඩයක් ගෙවීමට නියම කෙරණි. වහා මේ දඩය ගෙවා දැමූ එවකට පැවති යූ.ඇන්.පී. රජය උප පොලිස් පරීක්‍ෂකයාට දඩුවම් නොව උසස්වීමක් ලබා දුනි.

එපමණක් නොවේ, එදා ඒ තීන්දුව ලබා දුන් විනිශ්චයකාරවරයා ගේ නිවසට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කෙරිණි. මෙය සංවිධානය කෙරුනේ, එවකට රජය හා එක්වී සිටි හිටපු ජේවීපී කාරයෙක් වන කළු ලකී නමැත්තාගේ නායකත්වයෙන් නිසා, රජයට සහ රජයේ පොලීසියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයට පවා අකැප බව හැඟී ගියේය.

මහා හා හෝවක් සමග 1977 දී ඇරඹුණු ධර්මිෂ්ඨ සමාජයේ බියකරු පරිහානියේ ආරම්භක එක් මං සලකුණක් එය විය.

එදා සිට අද දක්වා පැවති හැම රජයක් මගින් ම කලේ නීතියා පාගා දැමීමයි. තමන් ගේ උන්ට එක නීතියක් ද, විරුද්ධ පාක්‍ෂිකයින් ට වෙනත් නීතියක් ද ක්‍රියාත්මක කිරීමයි. අමු අමුවේ අසාධාරණයට ඉඩ සලසා දීමයි.

වරදකරුවන් ට නිසි දඩුවම් ලබා නොදෙන සඳ, සමාජයක් කෙසේ නම් යහ මගට යොමුවේද? කාගේ කවුරු හෝ නිල බල ඇති තැනක සිටී නම් නඩු නැත. තමන් ගේ තරහකාරයෙක් නිල බල ඇති තැණක සිටී නම්, ඇඩ්‍රස් නැත.

මෙය විෂම චක්‍රයකි. අගතියෙන් අගතියටම මිස වලෙන් ගොඩ ඒමක් නැත!

ආනන්ද කොඩිය බඳ වට ඔතාගෙන රංචු ගැසී කලබගෑනි කරන ඒ කොළු කුරුට්ටන් හට දඩුවම් දිය හැකිද? බොහෝ විට නොහැකිය. ඒ උන්ගේ තාත්ත ලා අහවලා නිසාය. නැත්තං අහවලා ගේ අහවලා නිසාය.

අනෙක් අතට මේ කොළු කුරුට්ටන් ඉපදී හැදී වැඩී ඇත්තේ අද ඇති මේ විෂම සමාජයේ ය. නීති නොසලකන ආකාරයට ඔවුන් ගේ ජාන පරිසරයට අනුව හැඩ ගැසී, විකෘත වී ඇත.

එය උන්ගේ වරද නොවේ. උන් ගේ තාත්තලා ගේ වරදය!

අනේවාසික : the non-resident

Sunday, March 7, 2010

"ආචාර්යවරු, මහාචාර්යවරු සහ අප" - ලිපියට ඌණ පූර්ණයක්…


මම මීට සතියකට පෙර "ආචාර්යවරු, මහාචාර්යවරු සහ අප" නමින් ලිපියක් ලියා මේ බ්ලොග් අඩවියේ පල කළෙමි.

එහි දැක්වූ මගේ එක් ප්‍රධාන තර්කයක් වූයේ ආචාර්ය යන්න උපාධියක් වුවත් මහාචාර්ය යන තනතුර විශ්ව විද්‍යාලයක තනතුරක් නිසා, විශ්ව විද්‍යාල පද්ධතියෙන් පිටත මහාචාර්යවරු සිටිය නොහැකි බවයි. මෙහිදී එකම වෙනස වන්නේ විශ්ව විද්‍යාල මහාචාර්ය තනතුරු දරා සේවයෙන් ඉවත්වන විට සම්මාන මහාචාර්ය (professor emeritus) තනතුරු වලින් පුද ලද ඇත්තෝය.

අන් සියළු විශ්ව විද්‍යාල මහාචාර්යවරු, සේවයෙන් ඉවත් වීමත් සමග එමන්ට ආචාර්ය උපාධියක් තිබේ නම්, ආචාර්ය කියාද, නැති නම් මහතා හෝ මහත්මිය කියාද හැඳින්විය යුතුය.

මේ සඳහා උදාහරණ ලෙස මා දැනට කැළණිය විශ්ව විද්‍යාලයේ සේවය කරන මහාචාර්ය නලින් ද සිල්වා ව සහ රජයේ තනතුරක් දරන්නේ වුව ද ලඟදී සිට මහාචාර්ය නමින් පුවත්පත් වල හැඳින්වෙන ආචාර්ය පාතේගම ව යොදා ගත්තෙමි.

මා මේ දෙදෙනාම පෞද්ගලිකව නොහඳුනමි. මගේ වත්මන් අනේවාසික ජීවිතයට පෙර මා ලංකාවේ වාසය කරන කාලයේ නලින් ද සිල්වා ගේ ප්‍රසිද්ධ දේශන දෙකක් පමණ අසා ඇත්තෙමි.

මගේ ලිපියට ලැබුණු ප්‍රතිචාර දෙකක ආචාර්ය පාතේගම පිළිබඳව සඳහන් වී ඇත. මා එයට එහිම පිළිතුරු සැපයීමි. ඒ ප්‍රතිචාර කිසිවකින් මගේ තර්කය නොබිඳේ.

කෙසේ වෙතත්, මා කරන ලද සොයා බැලීම් වලට අනුව පෙනී ගියේ ආචාර්ය පාතේගම Australia විශ්ව විද්‍යාලයකින් වසර 2005 දී, එනම් මීට වසර පහකට පමණ ඉහත කාලයක ආචාර්ය උපාධිය ලබාගෙන ඇති බවත්ය. ඔහු Australia වේ හෝ වෙනත් රටක මහාචාර්ය ධුරයක් දැරූ බවක් මට නම් නොපෙනුණි. උපාධිය ලබා වසර පහක් තුල එවැනි ඉහල තනතුරක් ලබා ගැනීම ප්‍රායෝගික ද නැත. එසේ ලබාගත්තේ වුවද, ඔහු ඉන් ඉවත්ව ඒමේ දී විශ්ව විද්‍යාල පද්ධතියෙන් පිටත භාවිතා කිරීමට හැකි සම්මාන මහාචාර්ය පට්ටමක් ලබා ගත්තේ යැයි සීතීම නම් කිසිසේත් ම තාර්කික නොවේ.

කවුරුන් ලිව්වේ දැයි නොදන්නා මුත්, ආචාර්ය පාතේගම ගැන ලියවුණු අපූරු විකිපීඩියා සටහනක් ඇත. ඔහු විවිධ සිංහල පුවත්පත් සමග කළ සම්මුඛ සාකච්ඡා ආදිය පිළිබඳ තොරතුරු එහි දැක්වේ. මෙම විකි යේ දක්වා නැතිවුණත්, ආචාර්ය පාතේගම ලියූ පර්යේෂණ වාර්තා කිහිපයක් පිළිබද විස්තර Australia දකුණු විශ්ව විද්‍යාලයේ ලේඛනගතව ඇත.

මට පෙනෙන අයුරින් ආචාර්ය පාතේගම ආචාර්ය උපාධි ලාභියෙකි. එමෙන්ම දක්‍ෂයෙකි. ඒ ගැන වාදයක් නැත.

නමුත් ඔහුගේ අළුත ලැබුණු මහාචාර්ය තනතුර නම් ලෝකයේ කිසියම් විශ්ව විද්‍යාලයක දැරූ හෝ ලැබුණු තනතුරක් නොව උපාලි හෝ සුමති පුවත්පත් සමාගම් වලින් දෙන ලද එකක් බව මට පෙනේ.

අවසාන වශයෙන් කිවයුත්තේ, අනේවාසික මට මේ කිසි පුද්ගලයෙකු හෝ සමගමක් සමග පුද්ගලික ගැටළුවක් නොමැති බවයි.

මීට වඩා වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.

අනේවාසික

(image source: http://www.impawards.com/1996/posters/nutty_professor_ver1.jpg)

Monday, March 1, 2010

ආචාර්යවරු, මහාචාර්යවරු සහ අපි


මා සමග එකම පාසැලේ උසස් පෙල හැදෑරූ හොඳට වත් පොහොසත් කම් තිබූ එක්තරා ශිෂ්‍යයෙක් විය. විභාගයෙන් පසු අප දස අත විසිර ගියෙමු. වසර කිහිපයකට පසු මා ඔහු ගැන නැවත ඇසුවේ කොළඹ දකුණ පිහිටි පරිගණක තාක්‍ෂණය පිළිබඳ පාඨමාලා පවත්වන ආයතනයක අධක්‍ෂකවරයා ලෙසය. ඔහු එදා හැදින්වූයේ ප්‍රවීන පරිගණක විද්‍යා දේශක පී.ඒ. ගුණසිංහ ලෙසිනි.

මේ පරිගණක අධ්‍යාපනය පිළිබඳව විශාල උනන්දුවක් ඇතිවෙමින් තිබුණු අවදියකි. තම ආයතන විසින් පවත්වන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට මෙවැනි අධ්‍යක්‍ෂකවරුන් යොදා ගත්තේ ශිෂ්‍යත්ව නම්වූ "ඇම" ය.

පරිගණක තාක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක් සඳහා ශිෂ්‍යත්ව දහසක් දෙන බව පවසමින් ඔව්හූ මහා පරිමාණ ප්‍රචාරක දැන්වීම් ඉරිදා පුවත්පත් වල පල කරති. ඇතැම් විට රූපවාහිනියේ ද දැන්වීම් ප්‍රචාරය වේ. මෙවැනි රූපවාහිනී දැන්වීම් වල එක් විශේෂත්වයක් වූයේ ඒවා, සිංහල ප්‍රවෘත්ති අවසාන වූ වහාම ඇරඹී තිරයේ පහල සිට උඩට දිවයන වදන් පේලිවලින් සහ කටහඬින් පමණක් යුක්ත වූ එක්තරා ආකාරයක නිළ ප්‍රකාශන මෙන් දිස්වූ ඒවා වීමයි. ශිෂ්‍යත්වයක් දිනා ගැනීම සඳහා තරග විභාගයකට පෙනී සිටිය යුතුය. ඒ සඳහා විභාග ගාස්තුවක් අය කෙරේ.

මේ ව්‍යාපාර ආකෘතිය අනුව, පෙර කී විභාග ගාස්තුවෙන් ප්‍රචාරණ වියදම් ද, විභාග වියදම් ද ආවරණය වේ. ලැබෙන දස දහස් ගණන් අයැදුම් පත් ගැන සිතන කල, තවත් මුදල් ඉතිරිවෙනු ඇතැයි ද සිතිය හැක. පාඨමාලා ගාස්තු සකසා ඇත්තේ, කීප දෙනෙකුට 100% ශිෂ්‍යත්ව ද, තවත් ටික දෙනෙකුට 50% ශිෂ්‍යත්ව ද, තවත් කොටසකට 25% ශිෂ්‍යත්ව ද දුන් පසු ලැබෙන පාඨමාලා ගාස්තුවලින් ආයතනය පවත්වාගෙන යා හැකි වන පරිදිය.

මාස හයෙන් හයට මෙලෙස අළුත් පාඨමාලා ඇරඹේ. ඒ සඳහා ශිෂ්‍යත්ව ද ප්‍රදානය කෙරේ. ඒ උත්සව වලට සහභාගී වන්නේ ප්‍රදේශයේ ආණ්ඩු පක්‍ෂ දේශපාලකයාය. ව්‍යාපාරයේ දිනෙන් දින සරුවේ.

වසරක් පමණ ගතවිය. එක් දිනක් ඉරිදා පුවත් පතක පලවූ දැන්වීමක මා දුටුවේ මගේ පාසැල් සගයා ප්‍රවීන පරිගණක විද්‍යා දේශක පී.ඒ. ගුණසිංහ ඒ වන විට ආචාර්ය පී.ඒ. ගුණසිංහ වී ඇති බවයි.

ඔහුගේ ව්‍යාපාරය ජයෙන් ජයටම පත්වී තිබුණි. දැන්වීම්වල ප්‍රමාණයෙන් ද ඒවායේ පලවී තිබු ඡායාරූප වල ඔහුගේ ප්‍රමාණයෙන් ද ඒ බව පැහැදිලිවිය.

ගතවූයේ තවත් මාස කිහිපයකි. මගේ මිතුරා එක්වරම මහාචාර්ය පී.ඒ. ගුණසිංහ වී තිබෙනු ඔහු ගේ ආයතනය විසින් පල කර තිබූ දැන්වීමකින් දුටුයෙමි. දැන්වීම් අතිරේකයේ මහාචාර්යතුමා සමග කරන ලද සම්මුඛ පරීක්‍ෂණයක් ද විය.

මේ ආකාරයෙන් නම් මටත් අද හෙටම මහාචාර්ය ලංකාපුත්‍ර වීමට හැක!

මේ ලිපිය කියවන ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි ආචාර්ය උපාධියක් යනු විශ්ව විද්‍යාලයකින් පිරිනමනු ලබන ඉහලම උපාධියකි. මේ උපාධිය සඳහා ලියාපදිංචි විය යුතුය. උපදේශක ආචාර්යවරයෙකු යටතේ නිසි පරීක්‍ෂණ කළ යුතුය. ඒ ආශ්‍රයෙන් ලියන ලද පර්යේෂණ පත්‍රිකා ප්‍රධාන පෙලේ ජර්නල් වල පලවිය යුතුය. අවසානයේ ආචාර්ය උපාධි නිබන්ධනයක් ලියා එය බාහිර පරීක්‍ෂකයින් දෙදෙනෙකු පමණ අනුමත කළ පසු විශ්ව විද්‍යාලීය පරීක්‍ෂකයින් හමුවේ දේශණයක් පවත්වා එයින් ද සමත්විය යුතුය. මෙය අඩු වශයෙන් තුන්වසරක් ගතවෙන අති දුෂ්කර ක්‍රියාවලියකි.

සමහර විශ්ව විද්‍යාලවලින් මෙයට අමතරව සිවිල් සමාජයේ විවිධ පුද්ගලයින්ට සම්මාන ආචාර්ය උපාධිද පිරිනැමේ. අප දන්නා දේශපාලකයින් කිහිප දෙනෙකුට තියෙන්නේ මේ ආකාරයේ උපාධි වේ.

එසේ, ආචාර්ය උපාධියක් ලබාගත්තද, මහාචාර්යවරයෙකු වීම නම් ඉගෙනුමෙන් පමණක් කළ නොහැක. මක්නිසාද යත්, මහාචාර්ය තනතුරක් යනු සෑම විටකම පාහේ විශ්ව විද්‍යාලයක තනතුරක් බවයි. මහාචාර්ය තනතුරක් ලබාගැනීම සඳහා ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත. එසේම, විශ්ව විද්‍යාලයක සේවය කළ ද මහාචාර්ය තනතුර නොලබා සේවයෙන් විශ්‍රාම යන්නෝ ද සිටිති.

විශ්ව විද්‍යාලයක සේවය නොකරණ අයෙකුට මහාචාර්යකමක් ලැබෙතොත් එය සම්මාන මහාචාර්ය කමකි. මා දන්නා අයුරින් ඒවාද සම්මාන ආචාර්ය උපාධි මෙන් ප්‍රදානය කෙරෙන ඒවා නොව බොහෝවිට විශ්ව විද්‍යාලයක සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු සේවයෙන් විශ්‍රාම යන විට පුදනු ලබන සම්මානයකි.

එලෙස සම්මාන මහාචාර්යකමකින් පුදනු නොලැබූ විශ්ව විද්‍යාලයක සේවයේ නියුතුව සිටි මහාචාර්යවරයෙකු හෝ මහාචාර්යවරියක සේවයෙන් විශ්‍රාම ගිය පසු ඔහුට හෝ ඇයට ආචාර්ය උපාධියක් ඇත්නම් හැඳින්විය යුත්තේ ආචාර්ය කියාය. ඔහුට හෝ ඇයට ආචාර්ය උපාධියක් නැත්නම් හැඳින්විය යුත්තේ මහතා හෝ මහත්මිය කියාය.

උදාහරණයක් ලෙස, කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරක් හොබවන නලින් ද සිල්වා, සේවයෙන් විශ්‍රාම ගිය පසු, ඒ වන විට ඔහුට සම්මාන මහාචාර්යකමක් ලැබී නොතිබුණොත්, ඔහුට ආචාර්ය නලින් ද සිල්වා ලෙස ඇමතීම නිවරදි වේ. ඒ ඔහු ආචාර්ය උපාධියක් දරන්නෙකු නිසාය.

එසේම, මා එම විශ්ව විද්‍යාලයේ සේවයට බැඳී කවදා හෝ මහාචාර්යවරයෙකු ලෙස සේවය කර විශ්‍රාම ගිය පසු, ඒ වන විට මට සම්මාන මහාචාර්යකමක් ලැබී නොතිබුණොත්, තවදුරටත් මා මහාචාර්ය ලංකාපුත්‍ර ලෙස ඇමතීම නොකටයුතුය. මා මහාචාර්ය ලංකාපුත්‍ර වශයෙන් සිට ලංකාපුත්‍ර මහතා බවට පත්වෙමි.

මා මුලින් සඳහන් කළ කතාවෙන්ද කියවුනු පරිදි, අපේ සමහර ඇත්තෝ මේ ආචාර්ය, මහාචාර්ය තනතුරු වලට දක්වන්නේ ඉමහත් කෑදරකමකි.

පසුගිය දවසක වරායේ අධිකාරියේ ලොක්කෙකු තම තනතුර සඳහා ඉදිරිපත් කළ ආචාර්ය උපාධිය පිළිබඳ විශාල සැකයක් ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවේදී පැන නැගී ඇත.

ඒ සමගම, මෙන්න මේ ප්‍රවෘත්තියේ සඳහන් මහාචාර්යවරයා කුමන විශ්ව විද්‍යාලයක මහාචාර්ය තනතුරක් දරන්නේ ද යන්නද මට සිතාගත නොහැක.

අනේවාසික ලංකාපුත්‍ර

(image source: http://lealidellafarfalla.files.wordpress.com/2008/09/einstain.png?w=317&h=431)
Related Posts with Thumbnails